Saturday, November 29, 2014

පුන් පොහෝදා එලිය දෙන සඳ
අමාවකටම අඳුර දුන් සඳ
මට ද පහනක් වූ නිබඳවම
කිම ද සැඟවී ගියේ නොකියම

අහස් තලයම එලිය කළ නුඹ
අහස් ගැබ දැන් අඳුරු වී ඇත
තාරකාවන් ගුවනේ සිත් බැඳ
නුඹට නම් වදනකුදු කම් නැත

වලාවන්ගෙන් වැසී ගිය සඳ
නොපැමිණේ යලි ඒ මගේ සඳ
අහස් තලයම කම්පිතව ඇත
සඳේ නුඹ දුන් එළිය දැන් නැත..

අහිමි පෙම

ජීවිතේ එක් නිමේෂයකදී
බොළඳ වූ නුඹේ හදේ තෙත නැති
පසරු කළ ලය නුඹට පෙම් බැඳි
අහිමි පෙම ගැන දුකක් තව නැති

තුටින් ගෙවෙනා දිවියේ සෙවනැලි
සකි සඳුන් මා බසින් දිරි දුනි
විරහවෙන් සිත දුරක පා වුනි
එහෙව් පෙමකට කුමට ලතැවිලි

බිඳුනු සිතකට සුව දෙනා ඔසු
දනී නම් කිව හැකි ද සුමිතුරු
යලිත් පණ පොව දමනු ඒ පසු
පෙම් කවක් ලිව හැකිය දිවිතුරු...
කකියන හිසට
සුව දෙන ඔසු
තිබෙන තැනක තතු
දනී කවරකු...

අසරණ දනන්

නිදි ගැහැට විඳවමින් තම දෙපා රිදෙන තුරු
මඟ බලා හිඳින්නේ තම වාරේ ලැබෙනතුරු
පොහොසතුන් නොවේ සැම අසරණයි නිරතුරු
පාලනේ නිසාවෙන් දුක් විඳියි සුමිතුරු

වෙදදුරුට නොම දැනේ මිනිසුන්ගේ වේදනා
මනුසත්කමින් තොර වදන් එහෙ මෙහෙ වෙනා
අත යටින් දෙන මුදල් ඉදිරියට ඇදෙමිනා
අසරණ වු දනන් හැම පෙළ ගැසෙයි දුකකිනා

රෝහලේ එක පෙළට හිඳ ගෙනම සිටින්නේ
ඇවිදගනු බැරි අයයි අසරණව හිඳින්නේ
කාලයයි මිඩංගුව කුසගින්න දැනෙන්නේ
කිම පමා කීයටද අපි ගෙදර දුවන්නේ

නිරෝගී බව ලොවේ පරම වූ සැපතකි
රෝගී වූ කිසිවෙකුට මෙලොව පිහිටක් නැති
අනුකම්පා විරහිතව කෑගසන හෙදියනි
මදක් සිහි කර බලනු පින ලැබෙනු නියතකි
ළබැඳි නුඹ තුළ
දැනෙන සෙනෙහස
මිහිරි වදනැති
ගෙනෙයි සැනසුම
ළඟට ගනු බෑ
දුරයි නුඹ සඳ
ඉඳින් ඉනු මැන
සබඳ මේ ලෙස....
රිදුම් දෙන මේ දෙපය පාමුල
වැටෙන කඳුලැලි දැක නුඹේ
වේදනා දෙයි තාත්තේ මගේ
පුංචි වුව මේ පපුතුරේ

දෑතේ සවියෙන් නුඹ කරන මේ
සියලු ගෙත්තම් වැඩපලේ
මා නිසාවෙන් බව දනිමි මම
ඔබ නොකීවද සියලු දේ

නුඹට නොදැනෙන දෑතේ කරගැට
ශේෂ කරවයි නුඹේ ගත සිත
අහිමි සැප අප කුමට ලැබුමට
සිතෙයි නුඹ මේ විදින දුක් දැක...
ලැබූ ඉගෙනුම් කුමකටද මට
සිතෙයි දන ලග වැද වැටෙන විට
එහෙයි කියමින් සිටිනු හැර තව
ඉගෙනුමට නැත තැනක් මේ ලොව

මිතුදම

රංචු ගැසෙනා විහග කැල මෙන
සිටියෙ දා අප විදු පියස තුල
නිවෙස හැර යන කිරිලියක ලෙස
නුඹ ගියේ අප හිත රිද්දමින

නොසිතුවේ මුත් මෙවන් දිනයක
පියෑඹූ නුඹ පුදුම කරමින
අත්හැරුනු නුඹෙ සෙනෙහෙ ලග අප
තනි වුනේ සැම කදුළු එක්කර

ලබැදියාවෙන් පිරී ගිය හිත
සෝතැවුල් පිරි මලගෙයකි අද
තාම ඇත හිත එදා ලෙසටම
නුඹට වෙන් කර අගුළු ලා එය
හැර දමා මා සියලු දේ
පැමිනුනේ මේ කොලොම්පුරේ
නාදුනන මුව හැමතැනේ
බියක් නොම දැනුනා හිතේ

රෑ දිවා මා වෙහෙස වන්නේ
නුඹේ දුක් ගිනි නිවන්නයි
රිදෙන දෙපයට වාරු ගන්නේ
තුටින් ඔබ සැම තබන්නයි

පැමිනුනත් සල්ලාල කුමරුන්
නොරැවටෙයි ඒ ගැන සිතා
හෙටක් ගැන කල්පනා කරමින්
කරයි ගෙත්තම් හැමදිනා
මිතුරු වෙසකින් සිටින මිනිසා
නොහැක අදුනා ගන්න කිසිදා
කෙලෙහිගුණ අමතක කරමිනා
දුදන ගති එලි දකියි කවදා..
ජීවිතය
සුමිහිරි යැයි
පසක් කර දුන්
නුඹ ම
කටුක බව ද
ජීවිතයට
උරුම බව
මා අබිමුව
පෙන්වූයේ
කෙතරම්
සැහැල්ලුවකින් ද?


ඉතින්,
නුඹෙන් ලද
පන්නරයෙන් ම
ජීවිතය තුල
අබිසෙස් ලැබුමට
හැකිය මට
අහිමි බව
විදගෙන ම...

දුම්රිය

හනික
දුවවිත්
හතේ
කණිසමට
රැඳෙන
නෙතු යුග
දෑස් දල්වා
නුඹ එනතුරු
බලා හිඳිමි
ඉතින්,
නුඹේ
ඔය
දිවි පෙවෙත
මට ද
දැනේ
ලෙංගතු බව
නිසාවෙන් ම...
පැතුම් පොඳි බැඳ සතුට පැතු ඒ
ජීවිතේ දැන් නැතිවෙලා
හෙටක් ගැන හිත හිතා ගත කල
ජීවිතේ දැන් නැවතිලා

නුඹත් හා මම රැඳෙන පෙම් ලොව
අහිමි වී දැන් වෙන්වෙලා
කඳුළු බිඳු අග රැඳුනු නෙතු යුග
මැවෙයි සිතුවම් හිත් පුරා


දැනෙන මේ දුක නුඹට අහිමි ද
සිතෙයි දිව රෑ මගේ හිතේ
මටම විතර ද දුක දැනෙන්නේ
අසයි හදවත හැමවෙලේ

ඉසුරු පිරි නුඹෙ ජීවිතේ හට
නොවටනා මුත් දිලිඳු මගේ ලොව
සතුට හිමි හෙට දිනක් කෙදිනක
ලැබෙනු ඇත මට ජීවිතේ තුල...
ඉගෙන ගැනුමට සිතක් ඇතිමුත්
අලසකම එයි පෙරට එනමුත්
කෙසේ කරනට තවත් ඉගෙනුම්
එපා වී ඇත සියලු දෙයමුත්..
බල තණ්හාවෙන් පොරකන මිනිසා
කුහකකමින් දිවි ගෙවයි සෑමදා
නිලයෙන් උස් තැන් ලබා ගැනුමටා
පන්දම් අල්ලයි හිතත් රවටලා

උසස් ඉගෙනුමක් නොමැතිකම නිසා
අකුල් හෙලයි නිති දනන් බිම හෙලා
උගත්කමින් පිරි දැනුමැති මිනිසා
සැමදා එකතැන පල්වෙයි දුකිනා...

ජීවන ගමන

ළදරුවෙකු සේ දිවිය අරඹන
ජීවිතේ අපි නොදැන ගෙවමින
පතා තුටු සිත පැතුම් පොඳි බැඳ
කෙසේ කිව හැක අපේ ඉරණම

තුරුණු වියෙ බැඳි ආල සිතුවම්
මිහිර ගෙන දෙයි නොදැන ලයටත්
පසක් කර අනියතේ බව දුක්
මහළු වියෙ සිත තනිව වැලපෙයි

කරපු පෙර පින් නිසා මේ බව
අත් විඳියි සැප දුකක් නොලැබම
මතු බවෙත් ඒ නිවන ලැබුමට
අදිටනක් ඇත ලැඟුම් ගෙන හද

සසරේ හමු වී වෙන් ව යන අය
නතර කෙරුමට නොහැක අප හට
සසර බැමි බැඳ පතා ආ කල
සදා එක් වෙයි පුරුදු ලෙසටම...

සිහින හොරු අරන්

නුඹ
දුන් සිහින
පොදි බැද
සිටිමි මම
නිහඩව

එහෙත්
ඒ හීන
හොරෙන් අරන්
නුඹ
දකිනවා
වෙන අයෙක්
සමග...
අපේ ජීවිතත්
හරියට
රේල් පීලි
උඩ ඇදෙන
දුම්රිය වගේ..

පුතේ නුඹ

නුඹේ සුරතල් හඩින් හිමිදිරියෙ පිබිදිලා
ගත සිත ම පිනා යයි නුඹෙ වදන් මිමිණිලා
සවස් යාමේ ඇවිත් මා ළගම දැවටිලා
සිනාවෙන් මත් කරයි අප සැවොම එක් වෙලා

විඩාවක් නැත නුඹේ මුවට නම් මගෙ පුතේ
සුරතල් වු නුඹෙ වදන් රැව් දෙන්නේ මගෙ හිතේ
හපනෙකිය ඉගෙනුමට නුඹෙ සදා නම රැදේ
ආදරය සදාකල් පුතුට ඇත මගෙ හිතේ...
පිලිතුරු නැති
පැන හමුවේ
කකියන
මගේ හිස
සුව කල
හැකි
ඔසු
කිම..
නූපන් නිසා වත්පොහොසත්කමෙන් එද
අඟහිඟකමින් මිරිකී සිටි දනන් අද
නොලැබෙන සැප සිහිනයකි හැමකල
සුර සැප සොයා පියඹා යා යුතුය අප

ලක්දිව නොමැති සැප සොයලා අනෙක් රටේ
නෙක නෙක දන්න යයි පීරා නිරන්තරේ
ගිය පසු දැනේ මව්බිම අගෙ සැමට අනේ
එනමුදු නොමැත ඒමක් සිරිලකට කොහේ

යහපාලනේ පවතී නම් අපේ රටේ
කෙරුමට හැකිය රට සිංගප්පූරුව විලසේ
අනෙකා බිම හෙලා තම දිවි හිතමින්නේ
සිටිනා නිසයි ලක්දිව එක තැන ඉන්නේ...

සොයුරු පෙම

හැදුනු දේශය වෙනස් වූව ද
හසුරවන බස එක නොවූව ද
රැඳුනු සෙනෙහස අපේ හිත් තුල
නොවෙනස්ව ඇත සදා එක ලෙස

නුඹේ දිදුලන නෙත් අගින් මම
සහෝදර පෙම් දුටිමි සොයුරිය
වරක් ලැබුනොත් නැවත එන්නට
හමුවන්න ඉඩ දෙන්න මදකට...

හුදෙකලාව

නිසල රැයෙහි දි නැඟෙන සිහියට
මැවෙන රූ සිරි නුඹේ වත මට
හදෙන් විසි කර දමමි හැමකල
දිවිය සොඳුරුය හුදෙකලාවෙම

තනිව නැඟිටිමි දිවිය දිනුමට
පාළු තනිකම දැරිය හැක මට
බිඳුනු සිත දැන් සුව වෙමින් ඇත
අමනාපයක් හදෙහි රැඳි නැත..

මුහුණු පොතේ සරදම්

හමුවෙන මිතුරු මිතුරන් සැම මුහුණු පොතින්
යහපත් නොවේ සිතුවිලි සැම එකම ලෙසින්
බස හැසිරුවත් මිතුරන් ලෙස එකම හදින්
තේරුම් ගත නොහී මිනිසුන් සිතන හැටිත්

සොහොයුරු පෙමින් සිටියත් අප එක විලසේ
කාලය වෙනස් කරවයි සැම හොර රහසේ
අන්ෆ්‍රෙන්ඩ් කෙරේ නොදැනිම හිත් දුක වැඩිවේ
මුහුණු පොතේ පිටු පෙරලෙයි අප නොදැනේ...

සරසවි සිහින

විද දහසක්
කම්කටළු
පැමිණ
විවර කර
සරසවි දොරටු
නැතිමුත්
පහසුකම්
සිතුපැතු
උපාධිය මැවේ
සිහිනෙනු


ලබා ගනු වස්
අයිතිවාසිකම්
වීදි වල
රැස් වුණි
එකාමෙන්

බැටන් පොල්ලට
බිය නොවුණු හිත්
විරි දරා
පෙරටම ඇදෙයි
කදුළු ගෑස්
අතරින්

රිදුම් දෙන හිත්
පෙලයි ඇති වුනු
දදයෙන්
ශාපලත් ආණ්ඩුව
හමුවේ
විද්‍යාර්ථීන්
හෙලයි සෝ සුසුම්..
රුදුරු මිනිසුන් සමඟ සිටිනා
අපට සැමදා උරුම දුකිනා
අවිශ්වාසය සමඟ බැඳෙනා
තරහ පිටවෙයි අපත් නොදැනා

එකට කා බී එකට සිටිනා
මිනිසා ම වේ පරම හතුරා
වංකකම සැමදාම දිනනා
බොරුව රජයන දවස කවදා

මුහුණු බලලා වැරදි සොයනා
නොමිනිසුන් වේ වෙනස් නොවනා
නොදැන කිසිවක් නිසි පරිදිනා
මුසා බස් තෙපලනු නොවටිනා...
මව්ගේ උණුසුම අහිමි වූ දින
හැඟුම්බර වූ මගේ දෙනයන
වැටුණි කදුලක් මටත් නොදැනිම
අහිමි වී ගිය සෙනෙහෙ හින්දම

නොමිනිසුන් මැද සිටින දෙවිවරු
රැක ගතිමු මා දිවිය නිරතුරු
ණයගැතිය හෙට දිනට සුමිතුරු
සෙනෙහෙ ලබනෙමු නුඹෙන් දිවිතුරු

සොඳුරු දසුනකි සෑම දිනකම
ළමා ළපටින් රිසිය මා හට
පින්නවල නම් තිදැස පුරවර
නිවහනකි අප සෙනෙහෙ වඩවන...

පියාණනි

සිහිල් සුලගින් ගතම පිනවන
හිමිදිරියේ මා පිය මනින විට
දහස් සිතුවිලි මැවෙන හද තුල
මතක් වූයේ නුඹව මා හට

අතීතයේ මා එක්ව ගිය නුඹ
පාසලට මා ඇරලවූ නුඹ
අද තනිව මා හුදෙකලාවෙම
පියාණනි මා වඩිනු කෙදිනක..
ගං දෑල සිප හමා ආ මදනල
සෙමෙන් සිප ගතිමි මා වත කමල
පිපි කුසුම් පෙති රැඳෙන දියමත නිසල
තනිව හිඳිනෙමි එනතුරු මහිමි සඳ

මෝදු වූ සඳ පෙම්බරය මනරම්
විහඟුන් ගයයි ගී තුටින් මැදියම්
ඝන අන්ධකාරය පෙලයි සිත්තම්
වඩිනු මැන නුඹ රැඳෙනු හැක කෙතරම්...
පුංචි සන්දියේ දැකපු හීනෙට
තිත තබා මං ගියේ හනිකට
උරුම වූ මගේ දිවිය රැකුමට
අත පෑවේ මං හිතේ දිරියට

දුගී බව උරුම වූ දා සිට
ඉගෙනුමට තිත තැබුවෙ හෙමිහිට
ඉනුනු කදුලක් මගේ දෙනෙතට
වැටුනේ නොදැනිම සිතට හොරැහින

කරපු පූරුවේ පව් නිසා අද
විදින දුක් කද මහමෙරක් වෙද
සසරේ මතුහැම භවේදී මම
පතන්නෙමි සැප මෙදා නොලැබෙන...
අහඹු ලෙස මා දුටුව නුඹෙ වත
එදා පරිදිම තිබුනෙ හිතවත
තෙපලන්න රිසි වුවත් සකි වෙත
පැමිණි දුම්රිය හරස් වුණි අද..
පාඩම් කෙරුමට අවැසි නමුදු මට
නිදිමත පැමිණෙයි නොසිතූ විලසින
මුහුණු පොතේ රැඳි විගසින් මෙමහට
අතුරුදන්ව යයි නිදිමත ක්ෂණිකව.

මව් සෙනෙහස

රුහිරු බිඳු ඇති මව්න් විලසින්
තුරුල් කර මා සෙනෙහෙ වඩමින්
උණුසුමෙන් මා ගතම වෙලෙමින්
පෑව ආදර වදන් සතුටින්

වනයේ වෙසෙනා සත්ව කැල සැම
රකී පැටවුන් දයාබර ලෙස
සොබා දම් මැව් අපුරු නිමැවුම
සත්ව ලෝකෙට ගෙනෙයි සැනසුම

කලල වනසා දරුවෝ බිලිදෙන
මිනිස් සත්වයෝ මෙදා බිහිවෙන
සත්ව ලෝකයේ සදා නොනැසෙන
මව් සෙනෙහෙ ඇත නුඹේ හද තුල

අහර සොයලා විඩාබර නෙත
අදර බසකින් පිනයි සවනත
මව් කෙනෙකුගේ පහස විඳිනට
කරපු පින් මදි ලඟින් ඉඳුමට

රකුසු වෙස් ගත් දනන් මිහිපිට
බිළිඳු දරුවන් මරති එළිපිට
අහෝ! මිලිනව යන්නේ කරුමෙට
කවුරු දඬුවම් දෙන්නේ ඔවුනට...
ක්ෂිතිජ ඉම රැඳි රවිට හොරැහින්
එබෙන සඳු පෑ සිසිල් පවනින්
අඳුර ගොම්මන පාළු කරමින්
හිඳිමි නෙතු පිය හීන බලමින්

ගතට සිසිලස ගෙනෙන වැහි පොද
නොදැන පෙරමං බලා සිටියද
මහිමි සඳු වදු පුරය කවරද
කියන් සකි සඳ මා බලා හිඳ

පෙරදිගින් පෑ සිසිල් සඳ වෙද
එළිය කරමින් අඹරේ දිලුනද
රැඳෙන නෙතු යුග ගතු නොකීවද
නුඹ සිටින ඒ ඉසව් කොයිබද...
මිරිගුවක් සේ නොපෙනී ගිය විට
නැවත නැවතත් හදට දුක් දෙන
ආල සිතුවිලි මහද රිදවන
මගැ'ර හිදුමට කෙරෙන ඇරයුම
ගොතා කවිපද සනසන්න හිත
අවැසි ඇරයුම දෙන්න නිතියෙන...
උදේ ඉදන් රෑ වෙනකන් පන්ති ගිහින්
නිරපරාදේ වියදම් වෙන සල්ලි ඉතින්
නැත මගේ හදේ කිසි පාඩම් කරන නිතින්
ඉදිරිය බලා යා නොහැකිය අලසකමින්

දෙවියන්ගේ අඩවිය

උදේ ඉදන් හීන බලන්
දෙවියන් සිහි කරන් ඇවිත්
නිදි මරනා මිනිසුන්ගේ
දුක තේරෙනවද

මාරු කාසි වලට උඩින්
විසි කෙරෙනා දාහේ කොළ
පෝලිම් ඉස්සරහින් යන
හැටි තේරෙනවද

පොඩි මිනිසා පාගා ගෙන
ලොකු මිනිසා ඉහලට යන
දෙවියන්ගේ අඩවිය තුල
කෙරෙනා මේ අසරණකම
දෙයියෝ ඉන්නවද
ඕවා දෙයියෝ දන්නවද...
විශ්වාස කොට
බුදුන්,
හොඳ සහ නරකට
සමු දුන්නෙමි
නික්ම යන වසරට..
රෝහල් සයනයේ වැතිර නිදන නුඹ
දකින මගේ හද පාරයි ඉකිබිඳ
ලයේ ගලා ගිය සුසුමන් එක්වම
තනිවම වැලපෙයි නුඹව දකින හද

පෙර කළ පින් මදි වීම නිසාවෙනි
මේ කළ විඳිනට වූයේ දුක්සැම
මව්නි නුඹේ ඇති සෙනෙහෙ ගංදියෙන්
නහවනු මැන මා ළගින් හොවාගෙන

වේදනාවන් ගතම වෙලී නුඹේ
දකින නෙතට එයි කඳුළු ගලා නිති
සසර පුරාවම ළංව හිදිනු රිසි
සදා මව් ලෙසින් එනු මැන පෙම්බැඳි...

හුදෙකලාව

සයුරු තෙර හිඳ බලා සිටිමින්
දැනෙන සිතුවිලි හදට හොරැහින්
ඉකිබිඳින සිත දුරස් කරමින්
හිඳිමි තනියම සිහින මවමින්
කටුක ශීතල දරන් සිටිමින්
සිටිය ඒ කල වෙනස් කරමින්
වසන්තය ගැන හෙටක් දකිමින්
හිඳිමි මඟ බල ඇඟිලි ගනිමින්
හුදෙකලාවට හුරු වු දෙනෙතින්
දකිමි ලෝකය රිදුනු මනසින්
පාළු මේ හිත ඉවත හලමින්
ඉදිරි මඟ දෙස බලමි දැහැමින්...
අපි ගෙදර යනකන්ම
ඉන්නවනේ
මේ වැස්සත්
පොළව සිප ගන්න..
දනන් එකිනෙක මුණගැහෙන මේ
නවාතැන බස් රිය තුලයි
හිමිදිරියේ පා තබා හනිකට
දිව යන්නේ එහි ඉඳුමටයි

නඟින විට කිරි මව්වරුන් සැම
නිදා වැටෙනා දන්න බොරුවට
පාප සිතුවිලි සපිරි හද තුල
නොයනු බෑ සත්පුරුෂයන් ලෙස

යෙහෙලියන් හා තුටින් එන්නේ
බසය අප දිවි සුරකිමින්නේ
දෑත රියදුරු නිති රකින්නේ
පොදු ප්‍රවාහනේ එයම වන්නේ...
උන්නත් දස දහසක්
මේ හුදෙකලාව
මඟ හැරිය හැකි
කවුරුන් හෝ
වෙත්ද...
රැඳෙන කුඩයට
වාරු නෑ මේ
වැටෙන මහ වැසි
කූඩයන්

තෙමුණු සාරියේ
පටින් අල්ලා
පියමැන්නේ මං
සීරුවෙන්

සීතලෙන් ගුලි ගැහුණ
හිත යට
අඳුර පැමිණියේ
නොදැනෙමින්

දෙවියනේ ඇයි
වැසි හෙලන්නේ
පමා වෙයි
යන්නට සොඳින්...
මලින් මලට රොන් සොයා ඇදෙන්නේ
සුවඳ මලක් වෙත නෙත ගැටෙමින්නේ
බිඟු ගී රාවෙන් හද පොපියන්නේ
උරා බොන්නේ රොන් සතුටු සිතින්නේ

සිරිපා වැඳුමට වසකම යන්නේ
නේක වර්ණයෙන් ගතම දිලෙන්නේ
ලොව හැම පෙදෙසක සැරිසරමින්නේ
සමනලු අපි වෙමු පාර කියන්නේ

රංචු ගැසී එක පෙලට ඇදෙන්නේ
වෘක්ෂ ලතාවන් නෙක හමුවන්නේ
පාට ඇතිරූ ලෝකෙක සිටිමින්නේ
දිවි මඟ සොයමින් පියඹා යන්නේ..
දකින්න හොද කාගෙත්
විදින්න රස කෙදිනත්
ලබන්න ජය කවදත්
නෙලන්න පල හෙටටත්
දිළිඳු බව කරපින්න ගෙන මේ
ලොවට බිහි වූ දා පටන්
මිරිකුනේ අඟහිඟකමින් අප
පියා නික්මුණ දා ඉදන්

උරුම වූයේ දෑත පෑමයි
සිව් වසක් ගිය කල නිතින්
හිතක් උණු වන දනන් ඉදිරියේ
නිවුණි කුසගිනි යන්තමින්

ගතම වැහැරී රිදෙන දෙපයත්
විලි වසා කඩමළු වලින්
දකින විට සැප විදින මිනිසුන්
උනන කඳුලක් මට හොරෙන්
රුවට පමණක් ලොබ බදින දන
ගුණ සුවද නොවැටහේ කිසිදින
සොයන අගහිග වැරදි නිතියෙන
මිනිසුනේ කිම එය නොතේරෙන.

සදා සෙනෙහස

වදා දරුවන් හිතේ සතුටින්
හැදුවෙ ලේ කිරි කර සොදින්
උස් මහත් වී දැකපු ලෝකෙන්
මව්පියන් අත්හැර ගොසින්

වෙහෙස වූ නිති දින ගණන්
රැකුමටයි නුඹලා තුටින්
එහෙව් දුක් විද හැදූ උන්
මෙදා ළග නෑ අපි සොවින්
සසර පෙර පෑ සෙනෙහසින්

ඉදින් ප්‍රිය නුඹ මා ළඟින්
මහමගට බට අප කෙරෙන්
දිස් වෙන්නේ හිඟනුන් ලෙසින්

එදා රැදි පොහොසත්කමෙන්
කැප කලේ දරුවන් නමින්
තනිය දුරලා ඉමු පෙමින්
මියන තුරු ළංවී සිතින්

මහමෙරක් වන් නුඹේ අදරින්
නොහැගේ මේ මට සොවක් පෙර මෙන්
පණට පණසේ දිවිය ගෙවමින්
සදා සෙවනේ හිදිමු කෙලෙසින්

දෑඟිලි එක් කරන භාෂා

ලොවෙහි ඇති භාෂා
එක් කරයි
සුවහසක් මිනිසා
එකම පුරුකක් ලෙස
දැනෙයි හදවතට
සෑම මිනිසෙකුම
එක සමාන වග
වර්ණයෙන්,ජාතියෙන්
වෙනස් වුවද
සන්නිවේදනය තුලින්...

අපි ලෝකය ලස්සන කරමු.
நாங்கள் உலகத்திலேயை அழகுசைவோம்
Let’s make the world glamorous
わたしたち は せかいが きれに に しなければなりません

බිඳුනු පෙම් හිත

හීනයක් සේ ඇවිත්
දුන් හීන පොඳි බැඳන්
සිටින්නෙමි තවම මා
නුඹ ඈත ගොස් ඇතත්

හීන හැම බිඳ හෙලා
පෙනී නොපෙනී ගියත්
හදේ රැඳි සිහිනයන්
වෙනකෙකුට දුන් නමුත්
අමනාප නෑ තවත්

සිහින විසිරී ගියත්
ගත්ත සේයාරුවත්
ඇයත් හා ළං වෙමින්
මුහුණු පොත සිසාරා
ලයික් හා කොමෙන්ටුත්
දකින හද පාරවයි
නුඹ දුන්න පොරොන්දුත්

එදා අප දැමූ ඒ
රිලේෂන්ෂිප් වුවත්
අද නැතිය ඒ කිසිත්
ඉතිරි දුක මිහිපිටත්..
නෙත් බැලුම් හෙලද්දී
අහස් කුස සිසාරා
නෙත ගැටුන මේඝයන්
වැහි බිදෙන් බර වෙලා
පොළව සිප ගන්නටයි
සිතුනේ මට විගසිනා
කෙලෙස පා තබන්නේ
කුඩේ යට මුවා වෙලා..

අසිරි සිරිලක

දකින හැම වීදි වල
කෙරෙන සංවර්ධනේ
කඩ කඩා හදයි බිම
ඉවරයක් නොම දැනේ
ඒ නමුත් තදබදය
කිසිලෙසක අඩු නැතේ
අසිරියේ පුරවරයි
දුකක් නැත හදචතේ..
බොරු කියා රවට්ටන
අය තමයි හොඳ සැමට
අවංකව සිටින උන්
නරකමයි හැමදාම
සිප වැළඳ ආදරෙන්
අනේ නුඹ හොඳ අපට
කියා සැම රවට්ටා
ගනීවි හිත් පොඩිය
නරක කල දුදනෙකුත්
ඉතා හොඳ පිරිසකට
යහළුවා හරි හොඳයි
සිතයි කහටක් නැතුව...

නඟේ නුඹ

අහිංසක වත කමල පුරා ඇඳි සිනහවෙන්
කෙලි දෙලෙන් ගත කරයි ජීවිතේ සිත් තොසින්
හිතේ බර නුඹට නම් නෑ නඟේ නිදහසෙන්
පියාඹා යා හැකිය කිරිලියක සේ නිතින්

දුර නොහිත රැවටෙන්න එපා මඟේ පොඩි නඟේ
යලි දිනක වැටහේවී දෙඩූ ඔවදන් අගේ
පෙර නොමඟ හෙලූ නුඹෙ යෙහෙලියන් නොම ඇතේ
වැටහෙන්න කල් යාවී පසුතැවිලි එම සිතේ

යුවතියට ඔබින ලෙස හැසිරෙන්න කියාලා
මෑණියන් දෙඩු වදන් මතකයට නඟාලා
හැසිරෙන්න දිවි මඟේ සටහනක් තබාලා
ඉදිරියට යනු මැනවි මේ මතක රඳවලා

නිවනක් නැති ජීවිතේ

ජීවිතේ මේ ලෙසට කුමට අප මැරි මැරී
හැල්මේ දුව පනින්නේ වෙහෙස වී දුක් දිදී
නැතිව කිසි සැපක් නම් කුමට ඒ ගැන සිතී
තව තවත් ලොබ බදිමු නිවනටම යා නොදී
අසුන් සැම පිරී ඇතේ
හිස් අසුන් නොම වෙතේ
ගැබිනි මව පැමිනෙතේ
දනන් හැම නිදියතේ
සත්පුරුෂකම් නැතේ
දුදන ගති මතුවෙතේ
කුරිරුකම් මිහිමතේ
තුරන් කල යුතු වෙතේ

Friday, November 28, 2014

ලංකාවේ ආශ්චර්යය

හිමිදිරියේ දුව එන්නේ පමා වී නොයන්නයි
තදබදය නිම නැත්තේ අපේ ඇති කරුමෙටයි
පාරවල් සෑදෙන්නේ සිරි අසිරි මවන්නයි
හැම අතින් මිරිකෙන්නේ පොඩි මිනිසා විතරමයි..